To understand your previous - LIFE, Look at what you have in your preset - LIFE :::: To have preview of your next - LIFE, Examine your daily act in this - LIFE

සසර සැපත


කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක
විහාරවාසී, ශාස්ත්‍රපති
විතාරන්දෙණියේ
මේධානන්ද හිමි



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“අන්ධභූතො අයං ලෝකො
තනු කෙත්‍ථ විපස්සති
සකුන්තො ජාල මුත්තොව
අප්පොස්සග්ගාය ගච්ඡති”



පින්වතුනි!


මේ ලෝකය තුළ ජීවත්වන බොහෝ පුද්ගලයෝ නුවණ මෙහෙයවීමෙන් තොරවීම නිසා අන්ධභාවයට පත් වෙයි. නමුත් මේ පිරිස අතරම ස්වල්ප වූ කොටසක් ජීවිතයේ අරුත හෙවත් පඤ්චස්කන්ධයේ යථාවබෝධය දකියි. ඔවුන් දැලින් මිදුනු වටුවකුසේ නිදහස්ව ගමන් කරන්නේ යම්සේද එසේ සසරදුකින් සසර සැපතට පත්වෙයි.



















































 මසැස තිබුණ ද මනස නැත්නම් ඔහු අන්ධයෙකි. පුහුදුන් ජනයාට නුවණ මඳ බැවින් එය දැනගත හැක්කේ නුවණැතියන්ටය. අන්ධබවින් මිදුණු හොඳ ගතිනම් හොඳ නරක, මඟ නොමග, යුතු අයුතු, නිත්‍ය අනිත්‍ය, ශුභ අශුභ, සුඛ දුක්ඛ කළයුතු නොකළයුතු වරද නිවරද කුසල් අකුසල් මෙලොව පරලොව වශයෙන් දැනගැනීමේ හැකියාවක් තිබිය යුතු ය.

ලෝකය විවිධ විධියට අර්ථදැක්විය හැකි ය. කෙසේ නමුත් අපට පියෙවි ඇසට පෙනෙන ලෝකය අපට දැනෙන තරමට ලෝකය යනුවෙන් භාවිතා කරයි. ලෝක ධාතුව වශයෙන්ද සත්ව ලෝකය වශයෙන්ද ලෝක යන්නෙන් හඳුන්වයි. මේ ලෝකය සුන්දර නැත. එසේම අසුන්දරද නැත. ලෝකය ස්වාභාවික තත්ත්වයන්ට පත්වෙයි. ලෝකය මිනිසා විසින් ඇස කන් ආදී ඉඳුරන් විසින් අත්පත් කර ගනී. අහස හා පොළොව දෙස බලන්න එය අපට කැමැති අයුරින් ක්‍රියාත්මක නොවේ. අහස දෙස මොහොතක් බලන්න. විටෙක සූර්යයා පායා එන විට ලෝකය ආලෝක වෙයි. දහවල්ට අධික රශ්මිය ගෙනදී සවසට බැස යයි. මුළු අහසම අඳුරුවෙයි. විටෙක වැසි, විටෙක දරුණු අකුණු විටෙක පුන්සඳ තාරකා ආදී දේද වෙයි. මෙවැනි තත්ත්වයන් මත විටෙක සිනහව විටෙක අරුමය තවත් විටෙක බිය, ගෙන දෙයි. මේවා දකින අහන අපේ ඉන්දීයයන් තුළින් මනස වෙනස් වෙයි. මේවා අපට
අවශ්‍ය ආකාරයට සිදුවිය යුතු යයි සිතේනම් එය අපගේ අනුවණකම නොවේද? බලන්න පොළොව දෙස දිය ඇලි, ගංඟාවන් උස් පහත් කඳු එසේම දිය උල්පත් ගිණි කඳු සුනාමි මේවාද ස්වාභාවිකව සිදුවන සිද්ධීන්ය. මේවා දකින අහන අපේ මනස ද සතුට දුක විටෙන් විට ඇතිවෙයි. නමුත් අපට පාලනය කරගත නොහැකිය.


පින්වතුනි!


බලන්න අපේ සිත දෙස විටින් විට වෙනස් වෙනවා. එකම අදහසක් කුමන වේලාවකදීවත් නෑ. හරියට අහස පොළොව වගේ. ඉතින් මේ හිත හදාගන්න පුළුවන්ද? තැන්පත් කර ගත හැකිද? එසේ සිත සකස්කරගත හැක්කේ ප්‍රඥාවන්තයෙකුට පමණි. බලන්න අප අවට පරිසරය කොතරම් ඉක්මනින් වෙනස් වෙනවාද? උදයට පිපෙන මල් හවසට පරවෙලා වැටෙනවා. බලන්න අපිත් එක්ක ජීවත්වන මිනිස්සු හරිම විවිධාකාරයි. රාග චරිත, දෝස චරිත, මෝහ චරිත, හොඳ නරක මිතුරන් මේ සමාජය තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕනෑ. ඒ තමයි සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුය කියල කියන්නේ. ධර්මයේ උගන්වන පළමු කාරණය තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලා.


පස්කම් සැපත මාරයාගේ දෑල හා සමාන ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මේ දැලෙන් මිදෙන්න හිත හදාගන්න එක ලෙහෙසි නෑ.


“නත්ථි රාග සමො අග්ගි
නත්ථි දොස සමො කලී
නත්ථි චන්ධ සමා දුක්ඛා
නත්ථි සන්ති පරං සුඛං”


රාගය සමාන ගින්නක් නැත. රාග සිතිවිලි වලින් සිත ගිණිගත්විට ඒ පුද්ගලයාට සත්‍ය හෝ අවංක භාවයක් ඇතිවන්නේ නැත. අනුන් ද පුළුස්සා ගෙන තමන්ගේ සසර ගමනටද එම ගිණි එකතු කර ගනී. ඒවගේම ද්වේෂය හා සමාන අපරාධයක් නැත. ඕනෑම පුද්ගලයෙක් අපරාධයක් සඳහා පෙළැඹෙන්නේ සිත දැඩි ද්වේෂ සහගත තත්ත්වයක් තුළයි. එම නොසන්සුන් තාවයට තවත් අයෙකුගේ ජීවිතය වූවද බිලිගත හැකි ය. එසේම පංචස්කන්ධය තරම් දුකක් ද අපට තවත් නැත. සංසාරයට එකතුවූ දා සිට අප කෙතරම් දුක් විඳින්නට ඇත්ද? ඉපදුණු වාර ගණන ලෙඩ වූ ගණන, මැරුණ වාර ගණනෙහි කෙළවරක් නැත. ඒ වගේම මේ සසර ගමනේ ඉදිරියටත් එසේමය. සැනසීමක් ලැබෙනුයේ මේ සියලු දුක් කෙළවර කොට නිවන් සුවය ලැබීමෙන් පමණකි.


පින්වතුනි!


අපි දැන් අප දෙසට නැවත වරක් හැරී බලමු. “දුල්ලබංච මනුස්සත්‍ථං” මනුස්ස ආත්මයක් ලැබීමම දුර්ලභ කාරණයකි. එනිසා මේ සත්ව ලෝකය තුළ මනුෂ්‍යයෙක් වී ඉපදීමම සසරේ ලොකු ජයග්‍රහණයකි. එනිසා අපි සසරෙහි මහා පින්කම් සිදුකරන ලද පුණ්‍යවන්තයෝ වෙමු. මෙය හොඳින් තේරුම් ගත යුතු ය. සසරේ එකතු කරගත් පිනේ මහිමය අපි තව තවත් වර්ධනය කර ගත යුතු ය. බොහෝ දෙනා පින අවසන් වනතුරු මනුස්ස ජීවිතයේ අකුසලයන් රැස් කරගනියි. සසරේ කරන ලද මහා පින අවසන් කළ ඔවුන් නැවත වතාවක් තිරිසන් ප්‍රේත ආදී ජාතිවලට පත්වෙයි. නමුත් නුවණැති පුද්ගලයා මුළු සසරම අන්ධකාරයක්සේ තේරුම් ගෙන ප්‍රඥාව නමැති ආලෝකයෙන් ජීවිතය ආලෝකවත් කරගනී.


අපට අපිව පාලනය කරගත හැකිද? පංච ඉන්ද්‍රියන් ගේ පිනවීම සතුටක් ලෙස අපට විටෙක සිතෙන්නට පුළුවනි. නමුත් යථාර්ථය නම් සසර ගමන පුරාවට පිනවා අවසන් කළ නො හැකි මේ ඉන්ද්‍රිය අපිට පිනවන්න හැකිවේද? එක ඉන්ද්‍රියක් හෝ අප පිනවා අවසන් කර තිබේද? නැත.



එසේ නම් මේවා අප සසරේ තවත් වෙහෙසකරවන, දුක ලබාදෙන දොරටු මිස සැප ළඟා කිරීමක් නොවන්නේ ය. සැප සොයන පුද්ගලයා දුක මගින් පීඩාවට පත්වෙයි. ලාභය සොයන පුද්ගලයා අලාභයෙන් පීඩාවටත් පත්වේ. ප්‍රශංසාව සොයන පුද්ගලයා දුක් විඳින්නේ නින්දාවෙනි. මේ ආකාරයට අප අටලෝදහමෙන් නිතර කම්පාවට පත්වෙයි.


අනිත්‍යයේ ස්වාභාවය දුකයි. අනිත්‍ය නම් දුකයි. “යදනිච්චං තං දුකචං” නමුත් අනිත්‍යද දුකක් බවට පත්වන්නේ අනිත්‍ය යථාවබෝධයෙන් නොදැකීමයි. අනිත්‍යය සැපතට ද උපයෝගී කරගත හැකිය.
මෝඩකමේ අනිත්‍යතාවය නුවණැති භාවයට පත්කරගත යුතුය. මනසේ අනිත්‍යතාවය අකුසලයෙන් කුසලයට වෙනස් කරගත යුතු ය. අප තුළ අහිංසක හොඳ නුවණැති මිනිසෙක් මෙන්ම ඉතා නරක දුක්ඛිත පුද්ගලයෙක් ද සිටී. ලෝකය තේරුම් ගෙන තමා කවරෙක්ද? යන්න අවබෝධ කරගෙන පංචඉන්ද්‍රියන් තුළින් නිවැරැදි පිනවීමක් ධර්මය මත පිහිටා කටයුතු කෙරේ නම් හොඳ සැනසිලිදායක ජීවිතයක් ගත කළ හැකි ය.


ඒ අනුව ජීවිතයේ පරමාර්ථය කුමක්ද යන්න? අප විසින් තේරුම්ගත යුතු ය. බොහෝ දෙනා ජීවත්වෙන්නේ පටු පරමාර්ථ මුදුන්පත්කර ගැනීමට ය. එනම් පිනවා අවසන් කළ නොහැකි මේ ඉන්ද්‍රිය පහ සතුටු කිරීම සඳහා පමණි. ජීවිතයට හොඳ පරමාර්ථ එකතුකරගත යුතුය. ඔබේ චරිතයේ එවැනි පරමාර්ථ සකස් කර ගැනීමට විවිධ චරිත ලක්‍ෂණයන් දියුණුකරගත යුතු ය. ඔබ විටෙක පියෙක් විය හැකිය. එහිදී ඔබ පියගුණ දියුණුකරගත යුතුය. ඔබ වැඩපළෙහි අලසයෙක්, කම්මැලියෙක් නොවී ධෛර්යයෙන් කටයුතු කරන්නෙක් විය යුතුය. ඔබ විටෙක ආදරවන්තයෙක් විය හැකි ය. එහිදී අවංක සත්‍ය භාවයෙන් ආදරය කළ යුතු ය. ඔබ පාරේදී මඟියෙකි. ඔබ එහිදී සිහිකල්පනාවෙන් ගමන් කළ යුතු ය. ඔබ කාන්තාවක නම් ඔබේ අරමුණු දියුණු කිරීමට විවිධ චර්යාවන් ඔස්සේ සිදුකළ හැකි ය.


ඔබ ස්වාමි දියණියක් නම් තම යුතුකම් මැනවින් අවංකව හා කාර්යක්‍ෂමව සිදු කළ යුතු යි. ඔබ මවක් නම් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව යන සිව්බඹ විහරණයෙන් තම දරුවන් මෙන්ම අන් දරුවන්ටද ආදරය දැක්විය යුතු ය. ඔබ ඔබේ කාර්යාලයේ දී තම වගකීම තේරුම්ගෙන නිවැරැදිව ක්‍රියාකරන්නේ නම් ඔබේ ජීවිතය තෘප්තිමත් එකක් වනු ඇත.


පින්වතුනි!


මීට වසර 2600 කට පෙර ලෝක සත්වයන්ගේ වාසනාවකට මිහිපිට බිහි වූ ලොව විශිෂ්ටතම ශාස්තෘන් වහන්සේ නම් අප සම්මාසම්බුදු පියාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ශ්‍රී මුවින්දේශිත සෑම වචනයක්ම සියලු සත්වයන්ගේ සැපතටම හේතුවේ.


බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අසා අවබෝධ කරගන්නා පුද්ගලයන්ට දුක් විඳීමට නොවේ. දුකින් අතමිදී සැපතට පත් වීමටයි. ඒ සැපත නම් අනෙකක් නොව දෙවි මිනිස් සැපය.


සසර කෙළවර අවසන් සැපතටම පත්විය යුතුමය. එනම් නිවන් සැපතයි. ඒ මග යන්නට නුවණ දියුණු කරගත යුතු ය. ඔබට ධර්මය තුළින් සැපවත් ජීවිතයක් ලබන්නට ත්‍රිවිධරත්නයේ පිහිට ලැබේවා.!!




තෙරුවන් සරණයි
[Thanks ::.Lakehouse Newspapers]

No comments:

Post a Comment

Popular Posts